හෝර්ටන්තැන්න වෙතට පිවිසීම සඳහා මාර්ග 3ක් තිබෙනවා. ඉන් ප්‍රධානතම මාර්ගය වන්නේ නුවරඑළිය නගරයේ සිට අඹේවෙල හරහා හෝර්ටන්තැන්න වෙත පිවිසෙන මාර්ගය යි. සාමාන්‍යයෙන් සංචාරකයන් වැඩි ප්‍රමාණයක් හෝර්ටන්තැන්නට යාම සඳහා භාවිතා කරන්නේ මෙම ගමන් මාර්ගය යි. එසේම ඔහිය හරහා වැටී ඇති ගමන් මාර්ගය ඔස්සේත්, ආගරපතන හරහා වැටී ඇති ගමන් මාර්ගය ඔස්සේත් හෝර්ටන්තැන්න වෙත ළඟාවන්නට පුළුවන්. ඊට අමතරව බලන්ගොඩ සිට නන්පේරියල් තේවත්ත හරහා හෝර්ටන්තැන්න වෙත පැමිණීමට දුෂ්කර ගමන් මාර්ගයක් තිබෙනවා. සාමාන්‍යයෙන් කඳු තරණය කිරීමට කැමති උදවිය මෙම අසීරු මාර්ගය ඔස්සේ හෝර්ටන්තැන්න වෙත පැමිණෙනවා. නමුත් එය සෑහෙන්න අවදානම් ගමනක් නිසා ගමන අතරතුර විවිධ අනතුරුවලට ලක්වන්නට තිබෙන ඉඩ වැඩි බවත් මෙහි දී සඳහන් කළ යුතු යි.
හෝර්ටන්තැන්න මුහුදු මට්ටමේ සිට මීටර 2,300ක පමණ උසකින් පිහිටා තිබෙන භූමි ප්‍රදේශයක්. හෝර්ටන්තැන්නට මි. මී. 5000ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයට වසර පුරාම වර්ෂාව පතිත වුණත් ජනවාරි සිට මාර්තු දක්වා වියළි කාලයක් පවතිනවා. එසේම හෝර්ටන්තැන්න ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 13ක් පමණ වනවා. ඇතැම් කාලවල දී එම අගය සෙල්සියස් 5ක් දක්වා පහළ බසිනවා.
ලංකාවේ උසම සානුව වන හෝර්ටන් සානුවට උතුරින් මීටර් 2357ක් පමණ උස තොටුපොළ කන්ද දක්නට ලැබෙනවා. එසේම බටහිරින් මීටර් 2389ක් පමණ උසකින් යුත් කිරිගල්පොත්ත කන්ද පිහිටා තිබෙනවා. මෙම භූමි ප්‍රදේශය හරහා අධික ලෙස සුළං හමනවා. එනිසා ශාක කුරුවී තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එසේම හෝර්ටන්තැන්නේ වනාන්තරය ඇතුළත වාතය වැඩි සිසිල් බවකින් සහ වැඩි ආර්ද්‍රතාවයකින් යුක්ත යි. හෝර්ටන්තැන්නේ පිහිටා තිබෙන සුන්දරත්වයෙන් අනූන ස්ථානයක් වන්නේ ලෝකාන්තය යි. ඉතාමත් සීඝ්‍ර මොහොර බෑවුමක් වන ලෝකාන්තයට එම නම ලැබී ඇත්තේ එය පිහිටි ප්‍රදේශය මීදුමෙන් වැසුණු පසුව එතනින් එහා හිස් අවකාශයක් ඇති බවට හැඟෙන නිසා යි. හෝර්ටන්තැන්න තුළ මහා ලෝකාන්තය සහ කුඩා ලෝකාන්තය යනුවෙන් බෑවුම් දෙකක් දක්නට ලැබෙනවා. ඒවායේ සිට පහළ බැලූ විට නන්පේරියල් තේ වත්ත, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ දැකගන්නට පුළුවන්. නමුත් එම දර්ශනය හොඳින්ම දැක බලාගන්න මීදුම සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි.
මහා ලෝකාන්තය සහ කුඩා ලෝකාන්තය යන ස්ථාන ඉතාමත් අනතුරුදායක යි. එම ස්ථාන ආශ්‍රිතව විවිධ අනතුරු සිදුවුණු බව පසුගිය කාලයේ දී වාර්තා වුණා. එසේම සමහර උදවිය සියදිවි නසාගැනීම සඳහා ලෝකාන්තයෙන් පහළට පැන්න අවස්ථා ද පසුගිය කාලයේ වාර්තා වුණා. එනිසා කුඩා සහ මහා ලෝකාන්ත නැරඹීමට යන සංචාරකයන් එම ස්ථානවල දී අවදානම් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැලකිය යුතු යි. හෝර්ටන්තැන්නේ බේකර්ස් දිය ඇල්ල ද සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක්. හෝර්ටන්තැන්නේ අලි ඇතුන් සහ ගෝනුන් දඩයම් කළ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රීසි ජාතිකයා මෙම සුන්දර දිය ඇල්ල පිළිබඳව මුල්ම වරට වාර්තා කළා. 1853 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද The Rifle and the Hound in Ceylon නම් ග්‍රන්ථයේ බේකර්ස් ඇල්ල පිළිබඳව සඳහන් කර තිබෙනවා. බෙලිහුල් ඔය මඟින් නිර්මාණය වී ඇති බේකර්ස් ඇල්ල හෝර්ටන්තැන්නට සුන්දරත්වයක් එකතු කරනවා. හෝර්ටන්තැන්න පිවිසුමේ සිට ලෝකාන්තය දක්වා යන සුන්දර ගමන් මාර්ගයේ වරින් වර වෙනස් වන ශාක පද්ධතියක් දක්නට ලැබෙනවා. එම ශාක පද්ධතිය අතුරින් සිසිල් ජලය තිබෙන කුඩා ජල පහරක් ගලා බසින ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එලෙස හෝර්ටන්තැන්න තුළින් ගලා බසින ජල පහරෙන් සෑදී ඇති චිමිනි විල සංචාරකයන් ප්‍රිය කරන රමණීය ස්ථානයක්. එකිනෙකට වෙනස් ශාක විශේෂ හා ස්ථරවලින් සෑදුණු සංකීර්ණ පරිසර පද්ධතියක් මෙම භූමියේ දක්නට ලැබෙනවා. කඳු හා නිම්නවලින් සෑදුණු මෙම පරිසර පද්ධතිය තුළ තෙත් සදාහරිත පරිසර පද්ධතියක ලක්ෂණත්, අර්ධ ඝර්ම කලාපීය පරිසර පද්ධතියක ලක්ෂණත් දැකගන්නට පුළුවන්. මෙහි වනාන්තර ඇතුළත අඳුරු ස්වභාවයක් උසුලන අතර ශාක ආලෝකය ලබා ගැනීම සදහා තරග වදින ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ අපි ශාක හෝ උඩවැඩියා විශේෂ බොහෝ හදුනාගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපිශාකවල වෙනත් ශාක මත වැඩීම නිසා ජලය ලබා ගැනීමේ දුෂ්කරතා පවතිනවා. නමුත් මෙම පරිසර පද්ධතිය පුරා අපිශාක බහුලව පැවතීමට හේතුව වන්නේ වළාකුළු මඟින් ඒවාට අවශ්‍ය අධික ජල සැපයුමක් ලබාදීම යි. සාමාන්‍යයෙන් නිතරම පරිසරයේ දැකගන්නට නොලැබෙන ශාක වර්ග හෝර්ටන්තැන්නේ දී දැකගන්නට පුළුවන්. එවැනි ශාක අතරින් කාගේත් අවධානයට ලක්වන ශාකය වන්නේ මහරත්මල් ශාකය යි. අලංකාර රතු පැහැති මලක් පිපෙන මහරත්මල් ශාකය දෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ ජනප්‍රිය යි. මහරත්මල මධ්‍යම පළාත් පුෂ්පය යි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා මෙම පරිසරයේ දී මහරත්මල දැකගන්නට පුළුවන්. ඊට අමතරව කීන, වල් කදුරු, මහ මීවන, බිනරමල්, වල් කපුරු, බෝවිටියා, නෙළුද, කුරු උණ, මහ තුත්තිරි වැනි ශාක වර්ග රැසක් හෝර්ටන්තැන්න ආශ්‍රිතව දක්නට ලැබෙනවා. මෙම භූමිය තුළ ආක්‍රමණික ශාක විශේෂ 2ක් හමුව තිබෙනවා. ඒ කහ පැහැති මල් හටගන්නා පඳුරු විශේෂයක් වන යුලෙක්ස් ශාකය සහ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් පර්ණාංග ශාකයක් වන වැරැල්ල යි. එම ආක්‍රමණික ශාක විශේෂ ද්විත්වය පරිසර පද්ධතිය පුරා සීඝ්‍රයෙන් පැතිර යාම නිසා අනිකුත් ශාකවල පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ මෙරටට ආවේණික පක්ෂීන් විශේෂ 14ක් පමණ දැකගන්නට පුළුවන්. ශ්‍රී ලංකා සිතැතියා, ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා, ශ්‍රී ලංකා නිල් මැසිමාරා, ශ්‍රී ලංකා වන රැවියා වැනි පක්ෂි විශේෂ ඒ අතුරින් කිහිපයක්. හෝර්ටන්තැන්න විශාල ගෝන රංචු ද ගැවසෙනවා. ඊට අමතරව දිවියා, වැලි මුවා, දඬුලේනා, බළල් දිවියා, හාවා වැනි ක්ෂීරපායින් මෙම පරිසර පද්ධතිය තුළ දී දැකගන්නට පුළුවන්. ඊට අමතරව ලංකාවට ආවේණික වඳුරු විශේෂයක් වන වලස් වඳුරා ද මෙහි දී දක්නට ලැබෙනවා. විවිධ සමනල විශේෂ සහ උරග විශේෂ රැසක් හෝර්ටන්තැන්න ජීවත් වෙනවා. හෝර්ටන්තැන්න ක්‍රියාකාරී වළාකුළු දැකගැනීමට ඇති සුදුසුම ස්ථානය යි. කඳුමුදුන්වල පහළ මට්ටමේ සිට ඉහළ නගින ජලවාෂ්ප රැගත් උණුසුම් වාතය කඳු මුදුන්වල ගැටී ඝනීභවනය වී වළාකුළු බවට පත්වන අතර වළාකුළු සවස් කාලයේ දී කඳු ආවරණයකර ගැනීම හේතුවෙන් වැස්ස ඇති වනවා.ලෝකාන්තය අසල දී එසේ ඝනීභවනය වන ජලවාෂ්ප, ජලබිංදු වශයෙන් ශාක දිගේ වෑස්සීම සිදුවන ආකාරය දැකගන්නට පුළුවන්. මේ ජල සැපයුම නිසා වෙනත් ශාක මත වැඩෙන පැලෑටිවල වර්ධනයට හිතකර තත්ත්වයක් නිර්මාණය වනවා. එම ශාක පිහිටීම හේතුවෙන් වළාකුළුවල ඇති ජලය ලබාගෙන සංචිත කර එය පසට ලබාදී ගංගා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසනවා. 1969 ජනවාරි 15 වැනිදා හෝර්ටන්තැන්න ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 1988 මාර්තු මාසයේ දී මෙය වනෝද්‍යානයක් ලෙසින් නම් කරනු ලැබුවා. 2010 අගෝස්තු මාසයේ දී යුනෙස්කෝ සංවිධානය මඟින් නම්කෙරුණු ලෝක උරුම ලැයිස්තුවට හෝර්ටන්තැන්න ද ඇතුළත් වුණා. ඒ අයුරින් ලෝක උරුමයක්, ස්වභාවික රක්ෂිතයක් සහ වනෝද්‍යානයක් ලෙස නම් කරනු ලැබුවේ මෙය වටිනා, අති විශේෂ පරිසර පද්ධතියක් නිසා. එනිසා හෝර්ටන්තැන්න පරිසර පද්ධතිය රැකගැනීම අප කාගේත් වගකීම විය යුතු යි.................................................................................................................
දසූ....
[ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ]






Beautiful place to visit ❤️
ReplyDeleteGood creativity 😚💜️
ReplyDelete👍
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteNice❤️
ReplyDelete❤️❤️
ReplyDelete